Wednesday, August 23, 2017

මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?


ඇපල් උපාංග භාවිත කරන බොහෝ අයට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඇපල් iCloud Activation Lock එක.බොහෝ දෙනෙකු මේ පිළිබඳව කිහිපවතාවක් මගෙන් විමසීම් කර ඇති අතර මා ඒ පිළිබඳව මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

iCloud Activation Lock පිළිබඳව කතා කිරීමේ දී තියෙන පැටලිල්ලක් තමයි බොහෝ දෙනා අයිෆෝන් එකේ Network Lock එකයි iCloud Activation Lock එකයි පටලගෙන තිබීම.ඒක නිසා අපි අයිෆෝන් ලොක් වර්ග සම්බන්ධව ප්‍රථමයෙන් කතා කරමු.

Passcode Lock


මේ ලොක් එකෙන් කියැවෙන්නේ ඔබ අයිෆෝනයේ Home Screen එකට සහ සමහර විශේෂාංග සඳහා පිවිසීම සඳහා භාවිත කරන මුරපදය පිළිබඳව යි.මේ සඳහා අපට මුරපදයක් වෙනුවට Touch ID භාවිත කර ඇඟිලි සළකුණ භාවිත කිරීමට ද පුළුවන.ඉතිං අපට Passcode එක අමතක වුවහොත් අයිෆෝනය භාවිත කිරීමට නොහැකි වන අතර පියවර කිහිපයකින් අපට එය Unlock කර ගැනීමේ හැකියාව පවතිනවා.
Network Lock

මේ ලොක් එකෙන් කියැවෙන්නේ අදාළ අයිෆෝනය එක් දුරකතන ජාලයකට අදාළ සිම්පත් සමඟ පමණක් භාවිත කර හැකිවන ආකාරයට ලොක් කර තිබීම යි.උදාහරණයක් ලෙස UK වල O2 network එකට ලොක් කර ඇති අයිෆෝන් භාවිත කළ හැක්කේ O2 Network එකට අදාළ සිම්පත් සමඟ පමණි.එම නිසා එම අයිෆෝනය අපේ රටේ හෝ වෙනත් ජාලයක් සමඟ භාවිත කිරීමට Network Unlock කළ යුතු වනවා.මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මීට පෙර නිකුත් කර ඇත.


iCloud Activation Lock

Find my iPhone විශේෂාංගය iOS සමඟ සම්බන්ධ වන්නේ iOS 6 සමඟ යි.මෙම විශේෂාංගය iOS සඳහා පැමිණිමට ප්‍රධාන හේතුව වූයේ ලොව පුරා අයිෆෝන් විශාල වශයෙන් සොරකමට ලක්වීම සහ එසේ සොරකම් කිරීමෙන් පසු ඒවා නැවත සොයා ගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නොමැති වීම යි.එම නිසා මෙවැනි විශේෂාංගයක් අයිෆෝන් සඳහා අත්‍යවශය වූවා.

එහෙත් මෙම විශේෂාංගය iOS 6 සමඟ හඳුන්වා දුන්න ද එය සක්‍රීය නොකර අයිෆෝනයක් භාවිත කිරීමටත් එම උපාංගය සමඟ සම්බන්ධ වී තිබෙන Apple ID එක අමතක නම් Restore කර වෙනත් Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව පැවතුණා.

නමුදු iOS 7 සමඟ ඇපල් උපාංගයක් restore කර setup කිරීමේ දී එම උපාංගය සඳහා පෙර භාවිතා කළ Apple ID එක සහ එහි මුරපදය ඉල්ලා සිටින අතර එම අවස්ථාව මඟහරවා යාමට නොහැකි වන ලෙස iOS 7 සකසා තිබුණා.මෙහිදී ඇපල් සමාගම විසින් ඔබගේ Apple ID එක සමඟ ඔබගේ ඇපල් උපංගයේ Serial Number එක එකට එකතු කිරීමක්/සම්බන්ධ කිරීමක් සිදු කරනු ලබනවා.එම දත්ත අපගේ ඇපල් උපාංගයේ නොව ඇපල් සමාගමට අයත් ඔවුනගේ ම Server වල එම දත්ත ගබඩා කොට පවත්වාගෙන යන අතර අප Restore කර activation screen එකෙහි නැවත අපගේ Apple ID එක ලබා දීමේ දී සසඳා බලනුයේ එසේ ගබඩා කරන ලද දත්ත සමඟ යි.

ඒ අනුව iOS 7 ට අඩු iOS අනුවාදයක් සහිත ඇපල් iOS උපාංග සඳහා අපට සරල පියවර කිහිපයකින් නව Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව ලැබිණ.තවද ඇපල් අයිෆෝන් 4 හි iOS 7 අනුවාදයක් ධාවනය වුව ද අපට ලෙහෙසියෙන් එහි Apple iCloud Lock එක මඟහරවා යෑමේ හැකියාව පවතිනවා.මන් ද ඇපල් A4 චිප් එකක් සහිත උපාංග සඳහා Root Access තිබෙන නිසා අපට Apple iCloud Lock ක්‍රියාවලිය මගහැර යාමේ හැකියාව පවතිනවා.

එහෙත් අයිෆෝන් 4 හැර iOS 7 සහ ඊට ඉහළ iOS අනුවාද සහිත කිසි ම ඇපල් උපාංගයක් මෙසේ කලින් භාවිත කළ Apple ID එක නොමැතිව Apple iCloud Lock එක මඟහරවා යාමට නොහැකි අතර එසේ කිරීම ද නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැළකෙනවා.



No comments: